රජය පවත්වාගෙන යන්නට නම් අපට බදුගෙවන්නට සිදුවෙනවා. බදු නොගෙව්වොත් රජය කඩාවැටෙනවා. කඩාවැටුණොත් රජය අපට සපයන අත්‍යවශ්‍ය සේවා සියල්ල අපට නැතිවෙනවා. විනාශ වුණ දේවල් නැවත ගොඩනගන එක හිතන තරම් ලේසි නැහැ.
රජය තුළ හොරකම්, වංචා, දූෂණ සිදුවෙනවා. ඒවා වළක්වාගත යුතුයි. පරණ හොරකම් ඇල්ලීමත් වැදගත්. හැබැයි, ඒවා නිසා රජය බිඳදාන එක මූණ එක්ක තරහ වෙලා නහය කපාගන්නවා වගේ වැඩක්.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයි තරම් විශාලද යන්න පිළිබඳ විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් අරුණ පුවත්පත සමග 2021 දෙසැම්බරයේදී පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදුන්නා. ඒ අනුව,
- අමාත්‍යාංශ (කැබිනට්) – 28
- රාජ්‍ය අමාත්‍යාංශ – 40
- දෙපාර්තමේන්තු – 98
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල – 25
- සංස්ථා – 240
- රාජ්‍ය සමාගම් – 125
- රාජ්‍ය බැංකු – 8
- අරමුදල් – 65
- විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති – 124
- තවත් ආයතන – 21
- පළාත් සභා – 9
- පළාත් පාලන ආයතන 340 (337?)
- පළාත් සභාවල අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු – 241
- පළාත් සභා ප්‍රඥප්තිවලින් පිහිටවූ ආයතන – 64
- එකතුව – 2062 (?)
- මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් – ලක්ෂ 8
- පළාත් සභා – ලක්ෂ 3
- හමුදා – ලක්ෂ 3
- රාජ්‍ය ව්‍යවසායන් තුළ – ලක්ෂ 2+
- විශ්‍රාමිකයන් – ලක්ෂ 6 1/2
මෙම සියල්ල එකතු වූ විට රාජ්‍ය අංශයේ සමස්ත සේවක සංඛ්‍යාව ලක්ෂ 22ක් පමණ වෙනවා. ඉතා පැහැදිලිවම මෙය රටේ ජනගහනයෙන් දහයෙන් පංගුවක්.
2021 වර්ෂයේ රජයේ ආදායමෙන් 86%ක්ම වැය වුණේ රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්වලටයි. රජය දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිහින් තිබෙන්නේ ණය ගනිමින් රෝල ගසමින් බව ඔබ දන්නවා. රජයේ ආදායමටත් වඩා වැඩි මුදලක් ණය වාරික හා පොළිය වෙනුවෙන් වෙන්කරන්නට සිදුවෙනවා. ඉතින් කොහොමද අයවැය තුලනය කරගන්නෙ? විසඳුම නැවත නැවතත් ණය ගන්න එකම තමයි. ණය ගන්න තරමට රජයේ ණය බර තවත් වැඩිවෙනවා. ඔහොම ණය එකතුවෙලා දැන් විදේශ රටවලට විතරක් ශ්‍රී ලංකා රජය ඩොලර් බිලියන 50කටත් වඩා ණයයි. මේ ණය ගෙවාගන්නට බැරි වෙලා තමයි 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණේ.
පෞද්ගලික ජීවිතේදී වුණත්, ඔබේ පවුලේ වියදම ආදායමට වඩා වැඩි නම්, දිගින් දිගටම ණය ගනිමින් ඔබේ පවුලේ ආර්ථිකය පවත්වාගෙන යන්නට බැරි බව ඔබ දන්නවා. එතකොට ඔබ මොකක්ද කරන්නෙ? ඔබේ වියදම් වැඩිවෙලා තියෙන්නෙ ඇයි කියලා සොයා බලනවා. කෑම, ඇඳුම් වගේ දේ වෙනුවෙන් කරන වියදම් අඩුකළොත් ඒක ඔබේ ජීවිතයට දැඩිව බලපානවා. හැබැයි, අපි හිතමුකෝ, ඔබේ ගෙදර හෙලිකොප්ටරයක් තියෙනවාය කියලා. ඔබට ඒකෙන් නිතර ගමන් යන්නට බැහැ. හේතුව, කඩේ යන්න, පොළේ යන්න හෙලිකොප්ටරයක් අවශ්‍ය නැහැ. ඒ වුණත්, වැඩි කාලයක් බිම තියෙන මෙ හෙලිකොප්ටරය නඩත්තු කරන්නට ඕනැ. අවශ්‍ය වෙලාවට ඒක පදවන්නට පයිලට් කෙනෙකුට වැටුප් දීලා තියාගන්නට ඕනැ. වියදම් වැඩිවෙන්නෙ ඒ නිසා. එහෙනම්, ඔබ දැන් මොකක්ද කරන්නෙ? ඔබට අවශ්‍ය නැති මේ හෙලිකොප්ටරය විකුණා දමන එකයි.
රජයටත් ඔය දේම තමයි වෙලා තියෙන්නෙ. රජය සතුව අර හෙලිකොප්ටරය වගේ ආයතනයක් තියෙනවා. ඒ තමයි ශ්‍රීලන්කන් ගුවන් සේවය. ඒක දවසකට රු. මිලියන 100ක් විතර පාඩු ලබනවා. රජයේ වියදම් අඩුකරන්නට නම් මුලින්ම මේ වගේ සුදු අලින්ව විකුණා දැමිය යුතුයි.
දැන් නිවෙස්වල වහලට උළු සෙවිලි කරනවා අඩුයි. ඒත්, ඔබ දන්නවාද, ශ්‍රී ලංකා රජය සතුව වෙන්නප්පුව, කටාන, වයික්කාලේ, දංකොටුව, බංගදෙණිය ආදි ප්‍රදේශවල උළු කර්මාන්තශාලා පහක් පවා තිබෙනවා. රජය හාල් සිල්ලර විතරක් නෙමෙයි කජු පවා විකුණනවා. මේ තුට්ටු දෙකේ බිස්නස්වලින් සිදුවන්නෙ මහජනතාවගේ බදුබර වැඩිවෙන එක විතරයි. ඒ නිසා මේවා විකුණා දැමිය යුතුයි. රජය කළ යුතු, රජයට කළ හැකි දේ තිබෙනවා. රජය ඒ දේ කළ යුතුයි. පෞද්ගලික අංශයට වඩා හොඳින් කළ හැකි දේ තිබෙනවා. ඒවා පෞද්ගලික අංශයට භාරදිය යුතුයි. ඒකට තමයි පෞද්ගලිකකරණය කියන්නෙ.