ආර්ථික අර්බුදය මැද දැඩි ලෙස අවදානමට ලක්වන ජනතාව වෙනුවෙන් මහජන ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යයි.
දිළිඳු පුද්ගලයන් හා ආබාධ සහිත පුද්ගලයන් වැනි අවදානමට පත්වන ජනයා වෙනුවෙන් දැනට රජය විසින් සහනාධාර ක්‍රම කීපයක්ම ක්‍රියාත්මක කරනවා. ඒත්, සහනාධාර අත්‍යවශ්‍ය විශාල පිරිසක් මගහැරෙනවා. එම සහනාධාර ක්‍රම පරිපාලනයේ අකාර්යක්ෂමතාව හා දේශපාලනීකරණය හා නිලධාරිවාදය එයට හේතු වෙනවා. සමෘද්ධි සහනාධාර මෙයට හොඳම උදාහරණයයි. දැනට සමෘද්ධි සහනාධාර ලැබෙන දාහත් ලක්ෂ පනස්දහසක් ජනතාව ඉන්නවා. තවත්, 725,000ක් සමෘද්ධි සහනාධාර අපේක්ෂා කරනවා.
ඔය වගේම තමයි, වැඩිහිටි දීමනා ලබන හාරලක්ෂයක් විතර ඉන්නවා. තවත් දෙලක්ෂ පනස්දාහකට විතර අවශ්‍යයි.
හතළිස් දාහක් විතර වකුගඩු රෝගීන්ට දැනට ආධාර ලබාදෙනවා. තවත් හයදාහකට විතර අවශ්‍යයි. මහ බැංකු දත්ත අනුව, රටේ ජනගහනයෙන් දහයෙන් පංගුවක් විතර වන ලක්ෂ 22ක ජනගහණයකට දැනට මොනවා හෝ සුබසාධක ප්‍රතිලාභයක් ලබාදෙන අතර තවත් මිලියනයකට වැඩි පිරිසකට ඒවා අවශ්‍යයි.
සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙලක් රජයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පසුගියදා දියත් කළා.
“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපාﹸﹸ තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 28 දක්වා දීර්ඝ කර තිබුණා.
දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජීවනාධාර සහ මහජන ආධාර ලබන සියලුම ප්‍රතිලාභීන්, පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්, සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන සියලු පිරිස් ද නව වැඩසටහන යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කළා.
මෙම සමාජ සුබසාධක වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
මේ අතර, පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මාධ්‍යවලට ප්‍රකාශ කළා.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතක් පසුගිය සැප්තැම්බර් 6දා රජය පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බව ද වාර්තා වුණා.
පවතින අර්බුදය මැද ජීවිත පවත්වාගැනීම සඳහා සමාජයේ දුප්පත්ම කොටස්වලට උපකාර කිරීම සඳහා දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි අයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාලය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවා එකඟවී තිබෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණවලදී එයින් පීඩාවට පත්වන ප්‍රජාවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාලයක අවශ්‍යතාව එක්සත් ජාතීන් පවා පෙන්වාදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ මොහොතේ පවා අතිවිශාලයි. විශේෂයෙන්ම ආහාර උද්ධමනය හේතුවෙන් මිනිසුන් මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානමක් පවා තිබෙනවා. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව, සැප්තැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9%ක් වුණා. සැප්තැම්බර් මාසයේ සමස්ත බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය 69.8%ක් වුණා.
මේ ප්‍රශ්නයට මොකක්ද කරන්නෙ? වර්තමාන ජනාධිපතිවරයා අගමැති කාලේ 2022 ජුලි මස 5දා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයේ පහත දැක්වෙන කොටස එහිදී වැදගත්: “වර්තමාන උද්ධමනය නිසා, රුපියලේ වටිනාකම අඩුවීම නිසා සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දැන් ඇති මුදල් වල වටිනාකම 50% කින් පහළ බැහැලා තියෙනවා විශ්‍රාම වැටුප් වල සැබෑ වටිනාකමත් සියයට 50% කින් පහළ බැහැලා. අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මේ තත්ත්වය බලපාන හැටි කල්පනා කරලා බලන්න. ඔවුන් සියලු දෙනා අතර දිළිඳුකම පැතිරෙමින් පවතිනවා. ඔවුන් අතට ලැබෙන මුදලේ වටිනාකම සියයට 50% කින් පමණ අඩු වෙලා. ඔවුන් ගේ මිලදී ගැනීමේ ශක්තිය 50% කින් පමණ අඩු වෙලා. සිහින ලෝක මවන එක ලේසියි. හැබැයි මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අසීරුයි.
“මොකක්ද මේකට විසඳුම? හැකි ඉක්මනින් රුපියල ස්ථාවර කිරීම, රුපියල වැටෙන්න නොදී ශක්තිමත් කිරීම. ඒ අරමුණින් ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීම සීමා කිරීමේ සැලසුමක් අප ක්‍රියාවට නංවා තියනවා.
“2023 වසරේ අවස්ථා කිහිපයකදී සීමා සහිතව මුදල් මුද්‍රණය කරන්නට අපට සිදු වේවි. නමුත් 2024 අවසන් වෙද්දී මුදල් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතා දැමීම අපේ අභිප්‍රායයි.
“අප ඉලක්ක කරන්නේ 2025 වෙද්දි උද්ධමනය වේගය සියයට 4 ත් 6 ත් අතර මට්ටමකට පහත දමන්නයි.”