ශ්‍රී ලංකාවෙ අපි තවමත් රජය ගැන හිතන්නෙ රජු ගැන හිතපු විදියටම තමයි. අපට හිටිය රජු කියන්නෙ රටේ අයිතිකාරයා. රටේ දේපල විතරක් නෙමෙයි රටේ මහජනතාවත් අයිති වුණේ රජුට. රජු තමන්ගේ කැමැත්ත හෙවත් අභිමතය පරිදි මේ දේවල් පරිහරණය කළා. කොටින්ම රජ්ජුරුවන් ගමනක් යද්දි ලස්සන කාන්තාවක් දුටුවා නම්, ඇතැම් විට ඇගේ ජීවිත ගමන අවසන් වුණේ අන්ත:පුර ස්ත්‍රියක් බවට පත්වෙලායි.

හැබැයි, රජු හැමවිටම එහෙමම වුණෙත් නැහැ. මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුට දේශනා කළ “මහරජ‍, ඔබ මේ මහ පොළොව අයිතිකරු නොවේ. අහසේ සැරිසරන පක්ෂීන්ට ද, පොළොවේ සැරිසරන උරග, දෙපා, සිව්පා සතුන්ට ද මේ මහ පොළොව එක ලෙස අයිතිය. ඔබ මෙහි භාරකරු මිස අයිතිකරු නොවේ,” යන බණ පදයත් පැරණි ලංකාවේ ආණ්ඩුකරණ මූලධර්මයක් වුණා.

දැන් අපට රජෙකු වෙනුවට ඉන්නේ රජයක්. රජය පාලනය කරන ආණ්ඩුව සමන්විත වන්නේ කෙටි කාලයකට පත්කරගන්නා ලද ජනාධිපතිවරයකු හා ඇමති මණ්ඩලයකින්. එයට අමතරව බලවත් නිලධාරීන්ගෙන් සමන්විත රාජ්‍ය යාන්ත්‍රණයක් අපට තියෙනවා. ඔවුන් තමයි මිහිඳු හිමියන් කියූ ආකාරයට අපේ රට භාරව ඉන්නෙ. ඔවුන් අප වෙනුවෙන් රට පාලනය කරනවා. අප රජය ගැන සිතිය යුත්තේ එහෙමයි.

රජය කරන්නේ අත්‍යවශ්‍ය කාර්යයක්. රජයක් නොමැති තත්වයක් ගැන අපට සිතාගන්නටවත් බැහැ. රජයක් නොමැති නම් ඇතැම් සරල දේවල් පවා අවුල්වෙන්නට පුළුවන්. ඔබ විදේශගත නෑයෙකුට යවන වට්ස්ඇප් පණිවුඩය පවා සන්නිවේදනය වෙන්නෙ රජය විසින් ඉන්ටනෙට් යටිතලය මනාව නඩත්තු කර ඒ ජාත්‍යන්තර සම්බන්ධතාව නියාමනය කළොත් විතරයි.

රජය විසින් කළ යුතුව තිබෙන මූලික කාර්යය තමයි මේ නියාමනය කියන්නෙ. අපි මෙහෙම හිතමු. රජයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තමයි රටේ විද්‍යුත් චුම්බක තරංග සංඛ්‍යාත පරාසය නියාමනය කරන්නෙ. විද්‍යුත් චුම්බක තරංග නිසා තමයි අපට ජංගම දුරකථන, රේඩියෝ, රූපවාහිනී වැනි දේ භාවිතා කරන්නට හැකිවෙලා තියෙන්නෙ. ඒක අප හැමෝටම අයිති පොදු සම්පතක්. ඒක රජය නියාමනය නොකළොත්, විවිධ අය තමන් කැමති විදියට කැමති කැමති සංඛ්‍යාතවල සම්ප්‍රේෂණයන් කරන්නට ඉඩ තියෙනවා. එහෙම වුණොත්, ඔක්කොම සංඥා පැටලිලා මහා අවුල් ජාලයක් තමයි හැදෙන්නෙ. ඒ නිසා රජය ඒ වෙනුවෙන් සමාගම්වලට බලපත්‍ර ලබාදෙනවා. කොන්දේසි පණවනවා. මෙන්න මේ සංඛ්‍යාත මට්ටමේ තමයි ඔබ සම්ප්‍රේෂණය කළ යුත්තෙ කියා නියම කරනවා.

දැන් අපි සන්නිවේදන සේවා ලබාගන්නෙ රජයෙන් නෙමෙයි. පෞද්ගලික සමාගම්වලින්. අපි ඔවුන්ට මුදල් ගෙවනවා. ඔවුන් රජයට අවුරුදු පතා බලපත්‍ර ගාස්තු ගෙවනවා. මේක තමයි රජයත්, සන්නිවේදන සමාගමුත්, අපත් අතර සම්බන්ධතාව ගොඩනැගෙන ස්වරූපය.

අනෙකුත් කාරණාවලදිත් සිදුවිය යුත්තෙ මෙයමයි. උදාහරණයකට, රජය වරාය, බැංකු, වෙළඳපොළ, බදු ආදිය නියාමනය කරනවා නම්, වෙළඳුන්ට ආනයන අපනයන කරන්නට පුළුවන්. අපට වෙළඳපොළෙන් භාණ්ඩ මිලදී ගන්නට පුළුවන්. රජය අපට හාල්, සීනි, භූමිතෙල් එහෙම දෙන්නට අවශ්‍ය නැහැ. අපට මිලදී ගන්නට පුළුවන්. රජය අපට නොමිලේ දෙන සියලු දේ වෙනුවෙන් අපි බදු ගෙවිය යුතුයි. නැතිනම් රජය ඒ සඳහා දේශීයව හා විදේශීයව ණය ලබාගත යුතුයි. ඒවාත් ආපහු ගෙවන්නට සිදුවන්නේ බදු ගෙවන ජනතාව වන අපටම තමයි.

රජය රටේ ආර්ථිකය කළමනාකරණය කරගෙන, ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යනවා නම් රැකියා වෙළඳපොළක් රටේ නිර්මාණය වෙනවා. එතකොට අපට රැකියා කරන්නට පුළුවන්. ඒ වගේම, අප අතරින් පිරිසකට ව්‍යාපාර පවත්වාගෙන යන්නටත් පුළුවන්. රජය අපට රැකියා දෙන්නට අවශ්‍ය නැහැ. රජයේ රැකියා යම් ප්‍රමාණයක් අවශ්‍යයි. රජය පවත්වාගෙන යන්නේ ඒ රැකියා නිසායි. හැබැයි, රජය කියන්නෙ රැකියා විරහිතයන්ට රැකියා දෙන තිප්පලක් නොවිය යුතුයි. හේතුව, ඒ රැකියාවලට වැටුප් ගෙවන්නේ මහජනතාවගේ බදු මුදලින් නිසායි.

රජය නැති බැරි මිනිසුන්ට උදව් කළ යුතුයි. ඒ අයට සහනාධාර අවශ්‍ය වෙනවා. ඒවා සැපයිය යුතුයි. හැබැයි, එතනදීත් හාල් පොතේ ඉඳන් ජනසවිය හරහා සමෘද්ධිය දක්වාම පරම්පරාවෙන් පරම්පරාවට යන සදාතනික දිළිඳු සහනාධාර ක්‍රමයක් පවත්වාගෙන යන එක නෙමෙයි වෙන්නට ඕනැ. නැති බැරි මිනිසුන්ව හැකි ඉක්මණින් ඇති හැකි මිනිසුන් බවට පත්කරන්නට ඕනැ.