පාර පුරා පේර

පාර පුරා පේර කියන වචන තුන අකුරු දෙකකට ඉස්පිලි, පාපිලි දමමින් ලිය ලියා පොඩිකාලෙ සතුටු වුණා මතකද? අපට ගොඩයන්නට තියෙන පාර පටන් ගන්නෙ කොතනින්ද කියලා අපි සාකච්ඡා කළා. මෙතැනින් (link) ගිහින් ඒ ලිපිය කියවන්නට පුළුවන්.

ගොඩයන ගමන පාර පුරා පේර කියල ලියනවා වගේ විනෝදජනක අත්දැකීමක් නෙමෙයි. ඒ ගමනෙදි අපට උරහිස දෙන්නට ඉන්න ශක්තිමත් ගමන් සගයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බව කලින් ලිපියෙත් කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ ශ්‍රී ලංකාවත් සාමාජික වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයක්. අපි එහි පාර්ශ්වකරුවන්. එය පිටස්තර ආයතනයක් නෙමෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට උපකාර කරන්නට ඉදිරිපත් වෙලා, තිබෙන තත්වය තක්සේරු කරලා, ශ්‍රී ලංකා රජයත් සමග සාකච්ඡා කරලා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අත්සන් කළ බව පසුගිය සැප්තැම්බර් මාසයේ මුලදී නිවේදනය කළා. අපට ණය ප්‍රතිව්‍යූහගත කරන සාකච්ඡා ආරම්භ කළ හැකි වුණේ එයින් පසුවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලොකු අයියා කෙනෙකු වගේ අපට අතදෙන්නෙ ‘මං උදව් කරන්නම්, හැබැයි මල්ලි, ආපහු අමාරුවෙ වැටෙන්න නම් බැහැ, මං කියන විදියට කරන්න ඕනැ’ කියන කොන්දේසිය මතයි. ඒ කොන්දේසිත් සිත් ඇදගන්නාසුලු ඒවා නෙමෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික කොන්දේසියක් වෙන්නෙ ප්‍රාථමික ගිනුමේ ශේෂය අතිරික්තයක් විය යුතු බවයි. ප්‍රාථමික ගිනුමේ ශේෂය කියන්නේ රජයට ලැබෙන ප‍්‍රදාන ඇතුළුව සමස්ත රාජ්‍ය ආදායම සහ ණය පොලී ගෙවීම් හැර සෙසු රාජ්‍ය වියදම අතර වෙනසයි. ණය පොලී ගෙවීම් ඉවත් කර ගණනය කරනු ලබන රාජ්‍ය වියදම පියවා ගැනීමෙන් පසු ආදායමේ අතිරික්තයක් පවත්වාගත හැකි නම් ප්‍රාථමික ගිනුමේ ශේෂය අතිරික්තයකැයි කියනු ලැබේ. (ප‍්‍රාථමික ආදායම් ගිනුමේ ශේෂය = විදේශ සාධක ලැබීම් – විදේශ සාධක ගෙවීම්)

යහපාලන ආණ්ඩුව පැවති සමයේ මංගල සමරවීර මුදල් ඇමති ධුරයේ කටයුතු කරද්දී මෙම තත්වය අත්පත් කරගැනීමට රජය සමත් වුණා. 2017, 2018 යන වසර දෙකේම ප්‍රාථමික ආදායම් ගිනුමේ ශේෂයක් වාර්තා වුණා. ප‍්‍රාථමික ශේෂයේ අතිරික්තය, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප‍්‍රතිශතයක් ලෙස 2017 වසරේ 0.025ක් (රුපියල් බිලියන 2.1) වූ අතර 2018 වසරේදී 0.6% (රුපියල් බිලියන 91.4ක්) දක්වා වැඩි වුණා.

2018 වසරේ රජය ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා කළේ රාජ්‍ය ආදායම් අඩු වීම මධ්‍යයේයි. මෙම තත්ත්වය ළඟාකර ගැනීම සඳහා ප‍්‍රාග්ධන වියදම්හි සිදුවූ පහළ යෑම උපකාර වුණා.

2022 වසරේ අයවැයේ ප්‍රාථමික ගිණුමේ සියයට 4.5 – 5 ක පමණ හිඟයක් ඇතිවේ යයි අනුමාන කරනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිය විය හැක්කේ වැඩ සටහන නිමා වනවිට හෙවත් වසර තුනක් අවසානයේදී එම අයවැය පරතරය සියයට දෙකක අතිරික්තයක් බවට පත්කරගැනීම විය හැකියි. ඒ සඳහා අනිවාර්යයෙන්ම රාජ්‍ය ආදායම් වැඩි කර ගත යුතුය.

රාජ්‍ය ආදායම් කියන්නෙ, ප්‍රධාන වශයෙන්ම, බදු අය කිරීම්. ඒ අනුව රජයට බදු ආදායම් ඉහළනංවා ගැනීමට අනිවාර්යයෙන් සිදුවෙනවා. මේ වන විට සිදුකර තිබෙන බදු සංශෝධනවල අරමුණ වන්නේ ඒකයි. කෙසේ වෙතත්, රාජ්‍ය වියදම් අඩුකිරීම පිළිබඳ කිසිවෙකු එඩිතරව කතාකරන්නේ නැහැ. රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා බොහෝ අය යෝජනා කරන්නේ ඇමති මණ්ඩලය අවම කිරීම හා දූෂණය නැතිකිරීම වැනි කාරණාය. එමගින් යම් රාජ්‍ය වියදම් අඩුවීමක් සිදුවන බව සැබෑයි. එහෙත්, එය ප්‍රමාණවත්ද?

දේශීය ණය ගන්නෙ නැතුව රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බැහැ. හේතුව රජය නඩත්තු කරන්නට යන පඩි නඩි, බලශක්තිය, කාර්යාල ආදී වියදම් ටික එකතු කරලා බැලුවත් ඒ ටික පියවාගන්නටවත් රාජ්‍ය ආදායම මදි. ණය පොළී හා වාරික ගෙවන්නත් තියෙනවා. රජයේ ආදායමට වඩා ණය හා පොළී වෙනුවෙන් කළයුතු ගෙවීම්වල වටිනාකම වැඩියි.

ඒ අස්සෙ රජය කරන තෙල් ආනයනය හා විකිණීම, විදුලි බල සම්පාදනය, ජල සම්පාදනය ගුවන් සේවා, බස් සේවා, දුම්රිය සේවා ආදියේ සිට කජු විකිණීම දක්වා වන බිස්නස්වලින් තවත් පාඩුයි. ඒවායේ පාඩු පියවන්නත් ඕනැ මහා භාණ්ඩාගාරයෙන්.

ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන 05 ඇතුළු රාජ්‍ය ආයතන 55 ක් 2006 වසරේ සිට 2020 වසර දක්වා ලැබූ පාඩුව රුපියල් ටි‍්‍රලියන 1.2ක් බව අනාවරණය වී ඇතැයි ප‍්‍රවීණ ආර්ථික උපදේශකවරයකු වන මහාචාර්ය රොහාන් සමරජීව පවසනවා.

රාජ්‍ය වියදම් අඩුකිරීමේ ප්‍රධාන මාර්ගයක් වන්නේ මෙම පාඩු අවම කරගැනීමයි. ජාත්‍යන්තර කියන්නෙ මේ බිස්නස්වලින් පාඩු නොලැබ ඉන්න කියන එක. ඒක මහලොකු දෙයක් නෙමෙයි. නිෂ්පාදන වියදමට භාණ්ඩ හා සේවා අලෙවි කරන්න. එහෙම කරන්න ගියාම නිෂ්පාදන වියදම වැඩියි. හේතුව අකාර්යක්ෂමතාව, දූෂණය, නාස්තිය හා සේවක අතිරික්තය. දීර්ඝ කාලයක් තිස්සේ ලාභ ලැබීමේ උවමනාවකින් තොරව හා පාඩු මහජන මුදලින් පියවාගනිමින් පවත්වාගෙන යාම නිසා මේ ආයතන ඒ ක්‍රමයට හැඩගැහිලා. වෙනස් කරන්නට පරම්පරාවකින්වත් පුළුවන් වෙයි කියලා හිතන්නට අමරුයි.

රජය බිස්නස් නොකර ඒවා පෞද්ගලික අංශයට පවරා නියාමනයට අවධානය යොමුකරන එක වැදගත් වෙන්නෙ ඒ නිසායි.