අපි හැමෝම දන්නවා ලංකාව මේ මොහොතේ තියෙන්නෙ අමාරුවක වැටිලාය කියන එක. ඒ කියන්නෙ, ලංකාව ආර්ථික අර්බුදයක හිරවෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ කලක සිටම තිබුණු දේශපාලන අර්බුදයත තීව්‍ර වෙලා. ආර්ථික අර්බුදය එන්න කලින් අප ගතකළ ජීවිතය වෙනස් කරන්නට සිදුවීම නිසා අප දැන් සමාජ අර්බුදයකටත් මුහුණදෙනවා.

අපි මේ අර්බුදයෙන් ගොඩඑන්න ඕනැ. ඒක කරන්නෙ කොහොමද? අර්බුදය විස්තර කරන්නටත්, අර්බුදයට වගකිවයුතු පාර්ශ්ව කවුරුද කියන එක විග්‍රහ කරන්නටත් දේදුන්නේ පාට පාටින් ඕනැ තරම් කට්ටිය ඉන්නවා. ඔවුන් ඒ ගැන කරන විග්‍රහත් විචිත්‍රයි. හැබැයි, අර්බුදයෙන් ගොඩ එන හැටි ගැන, එහිදී අනුගමනය කළ යුතු මාර්ගය ගැන ඒ තරම් අදහස් ගොඩක් නැහැ.

ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා, ආණ්ඩුවේ ඇමතිවරු, විපක්ෂ දේශපාලනඥයන්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ලෝකයේ නායකයන්, ජනමාධ්‍යවේදීන් වැනි අය ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි, ඔවුන් අපට ගොඩයන්නට තියෙන පාර විදියට පෙන්නන්නෙ එකම පාරක්. ඒක අර සුලබ දේශපාලන උපමා කතාවල වගේ එක එක පාරවලින් ගිහින් සිරීපාදෙ කරුණා කිරීමක් නෙමෙයි. එකම පාර තමයි හැමෝම පෙන්නන්නෙ.

දැන් අපි බංකොලොත් රටක්නෙ. බංකොලොත් වුණේ, ලංකාව ලෝකයේ විවිධ රටවලට, සංවිධානවලට, සමාගම්වලට, පුද්ගලයන්ට ගෙවීමට තිබෙන ණය ගෙවාගන්නට බැරිවුණ නිසායි.දේශීයව අපට ණය ගෙවාගන්නට බැරිවුණාම අපේ නම ණය පැහැරහැරිය අයගේ නමක් විදියට ක්‍රිබ් එකේ සටහන් වන බව ඔබ දන්නවානෙ. එතකොට අපට බැංකුවලින් නැවත ණය ගන්න බැහැ. අපි ණය ගෙවලා ක්‍රිබ් එකෙන් නම ඉවත් කරගන්නට ඕනැ. ශ්‍රී ලංකාවට කරන්නට සිදුවන්නෙත් ඒකම තමයි. බංකොලොත්භාවය නැතිකරගන්නට ඕනැ. එහෙම නැතුව අපට නැවත ණය ගන්නට බැහැ. රටේ ආර්ථික වර්ධනය පවත්වාගෙන යන්නට රජයට ණය ගන්නට අවශ්‍යයි.

ඉතින්, බංකොලොත්භාවය නැතිකරගන්නට නම්, ශ්‍රී ලංකාව තමන්ට ණය දුන් අය සමග සාකච්ඡා කරලා ණය ආපසු ගෙවන ක්‍රමයක් සම්පාදනය කරගන්නට ඕනැ. ණය ප්‍රතිව්‍යූහගත කරගන්නවාය කියන්නෙ ඒකට. එහිදී ණය හිමියන්ට අවශ්‍ය තමන්ගේ පාඩුව අවම කරගන්නට නිසා සමහරවිට ඔවුන් අපේ ණය ප්‍රමාණය අඩුකරන්නට, ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් හෙවත් මොරටෝරියම් එකක් ලබාදෙන්නට හෝ පොළිය අඩු කරන්නට හෝ එකඟවිය හැකියි. ඒ සඳහා සාකච්ඡා කළ යුතුයි.

මේ සාකච්ඡා ඒ තරම් ලේසි නැහැ. හේතුව, හැම ණයකරුවෙකුම පාඩුව අවම කරගන්නට උත්සාහ කරනවා. ඒ වගේම, ශ්‍රී ලංකාව හැමෝටම සාධාරණ විදියට, එක හා සමානව කටයුතු කරන එකත් බලාපොරොත්තු වෙනවා. කාටවත් විශේෂයක් කරනවාට අනෙක් අය කැමති වෙන්නෙ නැහැ. දැන් රජය මේ සාකච්ඡා පවත්වාගෙන යනවා. ඒ සඳහා රජයට සහාය දීම සඳහා ජාත්‍යන්තර ණය හා නීති උපදේශන සමාගම් දෙකක සේවය ලබාගන්නවා. එතනින් තමයි අපට පටන්ගන්නට වෙන්නෙ.

ණය ප්‍රතිව්‍යූහගත කරගන්නෙ නැතුව, ශ්‍රී ලංකාවට බංකොලොත් රටක් විදියට ඉදිරියට යන්නට පුළුවන්ය කියලා හීං කෙඳිරියක් රට බංකොලොත් වුණ මුල් කාලෙ අති වාමාංශික ආර්ථික විද්‍යාඥයන්ගෙන් අසන්නට ලැබුණත් දැන් ඔවුන්වත් එහෙම කියන්නෙ නැහැ. ඒ කියන්නෙ, ගොඩයන පාර පටන්ගන්නට තියෙන්නෙත් දකුණු පය පෙරට තියලා මෙතනින්ම විතරයි. මේ වැඩේ පටන්ගන්නට පුළුවන් පෑල දොරක් නැහැ.