අපි දැන් බංකොලොත් රටක්. බංකොලොත් රටක් මුහුණදෙන ගැටලු මොනවාද කියන එක අපි පසුගිය අප්‍රේල්, මැයි, ජූනි, ජුලි මාසවලදි දැක්කා. ඉන්ධන, ගෑස් ආදිය ආනයනය කරගන්නට බැරුව ඇතිවුණ දිග පෝලිම්, පැය ගණන් දීර්ඝ විදුලි කප්පාදු කිරීම්, මහජනතාව අතර මෝදුවන කලකිරීම, අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය නිසා නිර්මාණය වන අසහනය හා ප්‍රචණ්ඩත්වය අපි අත්වින්දා.

ඉතින් අපට දැන් අවශ්‍ය මොකක්ද? ඇතැමෙකුට හැකි ඉක්මනින් මේ රටින් පළායන්නට අවශ්‍යයි. එහෙම හිතෙන එක වැරදි නැහැ. එහෙම යන්න පුළුවන් අය ගියාත් වරදක් කියන්නට බැහැ. හැබැයි, අපි වැඩිදෙනෙකුට එහෙම යන්නත් බැහැ. අමාරුවෙන් ගියත්, විදේශ රටක ස්ථිර ජීවිතයක් ගොඩනගාගන්න එකත් අභියෝගාත්මකයි. ඒ වෙනුවෙන් අවුරුදු ගණනාවක් අතිවිශාල මහන්සියක් වෙන්නට ඕනැ.

ඉතින් අපි මේ රටේ ජීවත් වෙන්නට තීරණය කළත්, අපට අපේ ජීවිතය හරිගස්සාගන්නට අතිවිශාල මහන්සියක් වෙන්නට සිදුවෙන බව අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. අපේ ජීවිත ගොඩදාගන්න වගේම අප ජීවත්වෙන රට ගොඩදාගන්නත් අපි මහන්සි වෙන්නට ඕනැ.

රට ගොඩදාන එක අපි පටන්ගන්නෙ කවදද? අපි කැමති දේශපාලන පක්ෂය බලයට පත්වුණාට පස්සෙද? එහෙම නැතිනම්, අපි කැමති නායකයා ජනාධිපති ධුරයට පත්වුණාට පස්සෙද? එතකල් අපි දිගටම මේ අවුල පවත්වාගෙන යා යුතුද? අපේ පක්ෂය හා අපි කැමති නායකයා බලයට පත්කරගැනීම සඳහා රටේ ආර්ථිකය, දේශපාලනය තවත් අවුල් කළ යුතුද? එහෙම අවුල් කළාම අරාජිකත්වයක් නිර්මාණය වෙයි. ඉන්න නායකයන්ට ඉල්ලා අස්වෙන්නට සිදුවෙයි. එතකොට අපි කැමති නායකයන් බලයට පත්වෙයි. අපි කැමති නැති අය බලයට පත්වුණොත් මොකක්ද කරන්නෙ? කැමති පක්ෂය, නායකයා බලයට පත්වෙනකල් දිගටම කඩාකප්පල්කාරීත්වය පවත්වාගෙන යමුද?

ඔය වැඩේ හරියන්නෙ නැහැ. අපි කැමති පාලකයන් පත්වෙනකල් නැවත නැවත මැතිවරණ පවත්වමින් කාලය, ධනය හා ශ්‍රමය නාස්ති කළ යුතුත් නැහැ. හැබැයි, මැතිවරණ නිසි කලට පැවැත්විය යුතුයි. රට ගොඩගන්නට නම් රටේ ජනතාව පත්වී සිටින පාලකයන්ට ඒ සඳහා මගපෙන්විය යුතුයි; උපකාර කළ යුතුයි.

ගොඩයාම කියන්නෙ නායකයන් විසින් අපට කරදෙන දෙයක් නෙමෙයි. අපි අපිම තමයි ගොඩයන්න ඕනැ. අපි අපිම ගොඩයනකොට රටත් ගොඩයනවා.

මේ ආර්ථික අර්බුදය මැද ඔබ කොහොමද ඔබේ ජීවිතය ගොඩදාගන්නෙ? ඔබ ණය බරින් මිරිකිලා නම්, ණය ගෙවාගන්නට අමාරු නම්, බැංකුවත් එක්ක සාකච්ඡා කරලා සහනයක් ලබාගන්නට උත්සාහ කරන්නට ඕනැ. බැංකුවෙන් සහනයක් දෙන්නෙ නැතිනම්, ඔබට සහන ලබාගන්නට ණය සහන මණ්ඩලයට යන්නට පුළුවන්. හැබැයි, කවුරු වුණත්, ගෙඩි පිටින් ණය කප්පාදු කරදෙන්නෙ නැහැ. සහන දෙන්නට කලින් ඔබ ඔබේ ආර්ථිකය හැඩගස්වාගත යුතුයි. ආදායම් වියදම් තුලනය කරගත යුතුයි. ඒ කියන්නෙ වියදම් අඩුකරගත යුතුයි. කලින් කරපු අනවශ්‍ය නාස්තිකාර වියදම් අඩුකරන්නට වෙනවා. සමහර වියදම් අවම කිරීම් තරමක් වේදනාකාරීයි. කලින් බ්‍රෑන්ඩඩ් ඇඳුම් විතරක් ඇඳපු ඔබට පමුණුවේ ඇඳුම් අඳින්න පවා සිදුවෙනවා. හැබැයි, දුෂ්කරතා මැද තාවකාලිකව එහෙම කරන්නට ඔබ හිත හදාගත යුතුයි. ඇඳුම් නැතුව ඉන්නවට වඩා ඒක හොඳයිනෙ. හැබැයි, වියදම් අඩුකරලා විතරක් මදි. අපි ආපසු කලින් හිටපු තත්වයට එන්නට නම්, ඒ කියන්නෙ ගොඩඑන්නට නම්, අපි ආදායම් වැඩිකරගන්නා ආකාරය ගැනත් සිතිය යුතුයි. වැඩි පඩි ලැබෙන රැකියා, අලුත් බිස්නස්, අමතර ආදායම්, පාට්ටයිම් ජොබ් වගේ දේ දැන් ඔබේ සිතට එනවා ඇති.

රටෙත් එහෙමම තමයි. අපි ණය ප්‍රතිව්‍යූහගත කරගෙන බංකොලොත්භාවයෙන් ගොඩඑන්නට ඕනැ. ඒ සඳහා රාජ්‍ය වියදම් අඩුකරගන්නට ඕනැ. ඒ විතරක් මදි. රාජ්‍ය ආදායම් වැඩිකරගන්නත් ඕනැ. අපේ රජය රාජ්‍ය ආදායම් වැඩිකරගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ඒ තමයි බදු වැඩිකිරීම. ඒ විතරක් මදි. රාජ්‍ය වියදම් අවම කරන්නත් ඕනැ. ඒ දෙකමත් මදි. අපේ රටේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර ශක්තිමත් කරන්න ඕනැ. ඒ සඳහා ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිකරන්නට ඕනැ. බැංකු පද්ධතිය ව්‍යාපාරිකයන්ට උදව් කරන්නට ඕනැ. ණය ගැනීම එහෙම පහසු වෙන්නට ඕනැ. බදු නිසා ව්‍යාපාර වැටෙන්නට අවශ්‍ය නැහැ. ඔවුන් බදු බර ජනතාව පිට පටවනවානෙ. එතකොට නිෂ්පාදන හා සේවාවල මිල වැඩිවෙනවා. ජනතාවට ඒ වැඩිවීම දරාගන්නට පුළුවන් විදියට රජය ආර්ථිකය කළමනාකරණය කරගන්නටත් ඕනැ. මේවා ලේසි වැඩ නෙමෙයි. කවුරුහරි රට හරියට පාලනය කරන්නට ඕනැ. නිතර නිතර පාලකයන් වෙනස් කරන එකට වඩා අපට වැදගත් හරිහමන් පාලකයන් ඉන්න එකයි.