ඔබට රජයක් අවශ්‍යද? මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයාගන්නට අපට රජයක් නැති රටක් ගැන සිතන්නට සිදුවෙනවා. අවාසනාවකට අපට ඉතිහාසයේ කවදාවත් රජයක් නොමැති කාලයක් තිබිලා නැහැ. ලංකාව කියන දූපත තුළ රජයන් කීපයක් තිබුණු කාල තිබිලා තියෙනවා. ආසන්න ඉතිහාසයේදී දෙදාස් ගණන්වල මුල සිට 2009 විතර වෙනකල් ලංකාවේ උතුරු නැගෙනහිර ඇතැම් කොටස් දෙමළ ඊලාම් විමුක්ති කොටින් විසින් පාලනය කළා. ඒ ප්‍රදේශවල රජයේ හමුදා, පොලීසි, අධිකරණ ආදිය වෙනුවට කොටින්ගේ පොලීසි, අධිකරණ ආදිය යම් දුරකට පැවතුණා. ඒත්, රජය දිගටම රෝහල්, පාසල්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදිය පවත්වාගෙන ගියා.

2002දී සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමත් සමග දීර්ඝ කාලයක් වසා තිබුණු ඒ-9 මාර්ගය විවෘත කළා. වවුනියාවෙන් ඔබ්බට යාපනය දක්වා ගොඩබිමින් ගමන් කළ හැකි වුණා. හැබැයි, ඕමන්තෙයිහි කොටි පාලන ප්‍රදේශයට පිවිසුණු වහාම එහි පිහිටුවා තිබුණු ආගමන විගමන කාර්යාලයක් වැනි තැනකට ඔබට යන්නට සිදුවුණා. එතැනදී කොටි සංවිධානයත් ඒ ප්‍රදේශයට වෙළඳාම සඳහා රැගෙන යන භාණ්ඩවලින් බදු අය කළා. කොටින්ගේ බදු නිසා කිලිනොච්චි පැත්තේ බඩු මිල දකුණේ වෙනත් ප්‍රදේශවල මිලට වඩා වැඩි වුණා.

රජයක් නොමැති තත්වයක් කෙසේ වෙතත්, අර්ධ අරාජික තත්වයක් මැද පවා බදු අයකිරීම් සිදුවෙන බව පැහැදිලියි. අපේ කැමැත්ත ඇතුව හෝ නැතුව අප පාලනය කිරීම සඳහා ගොඩනැගී තිබෙන රජය සිය පැවැත්ම සඳහා ආදායම් උපදවා ගන්නේ බදු ගෙවීමෙනුයි. රජයක ප්‍රධාන ආදායම් මාර්ගය තමයි බදු. රජය බදු අයකිරීමේදී බලහත්කාරය පාවිච්චි කරනවා. හැබැයි, බදු අයකිරීමේ යාන්ත්‍රණයෙන් කට්ටි පනින්නට විවිධ ක්‍රම සහ විධි තිබෙන බවත් ඔබ දන්නවා. සමහර බදුවලින් අපට කට්ටි පනින්න අමාරුයි. වැට් බද්ද හා උපයන විට ගෙවීමට සිදුවන වැටුපෙන් අඩුකරන බද්ද අනිවාර්යයෙන් ගෙවන්නට සිදුවෙනවා. මේ ලිපියේ අරමුණ අප බදු ගෙවිය යුත්තේ ඇයිද කියන එක පැහැදිලි කිරීමයි.

අප බදු ගෙවිය යුත්තේ අපට රජයක් අවශ්‍ය නිසායි. රජය තමයි අපි පාවිච්චි කරන මේ ඉන්ටනෙට් යටිතලය පවා සංවර්ධනය කළේ හා කළමනාකරණය කරන්නේ.

රජය රටේ විද්‍යුත් චුම්බක තරංග සංඛ්‍යාත පරාසය කළමනාකරණය කරන්නෙ. එහෙම නොකළොත් ඒ පොදු සම්පත හිතෙන හිතෙන විදියට සන්නිවේදනය සඳහා පාවිච්චි කරලා ඔක්කොම පණිවුඩ පැටලිලා අවුල් ජාලයක් හැදෙන්නට පුළුවන්.

රජය අපේ උපතේ සිට මරණය දක්වා ජීවිතයට විවිධාකාරයෙන් සම්බන්ධ වෙනවා. බබෙක් ලැබෙන්න ඉන්නකොට යන මාතෘ සෞඛ්‍ය සායනය, දරු උපත් සිදුවන රෝහල් පද්ධතිය, විවිධ සායන, රෝහල් වාට්ටු, දැඩි සත්කාර ඒකක ආදිය රජය අප වෙනුවෙන් පවත්වාගෙන යනවා.

අපට උප්පැන්න සහතිකය, හැඳුනුම්පත, පාස්පෝට් එක විතරක් නෙමෙයි මරණ සහතිකය පවා දෙන්නෙ රජය.

ඉඩම් හා වෙනත් දේපළ අයිතිය තහවුරු කරදෙන්නෙ රජයේ ලියාපදිංචිය තුළයි.

නීතිය හා සාමය පවත්වාගෙන යන්නට පොලිසිය, අධිකරණ, සිරගෙවල් පවත්වාගෙන යා යුතුයි.

ඉහත සඳහන් කරන ලද දේ රජය අනිවාර්යයෙන් කරනවා. ඒ වෙනුවෙන් ගාස්තු අය කළත්, ඒ ඉතාම සුළු ගාස්තුවක්. එයට අමතරව තවත් බොහෝ දේ රජය කරනවා.

රජය තමයි පිටරට යන්න හරි ගුවන් තොටුපළවල් පවත්වාගෙන යන්නෙ.

රජය තමයි අපට අවශ්‍ය ආනයන අපනයන කරගන්න වරාය පවත්වාගන්නෙ.

රජය තමයි බැංකු පද්ධතිය මෙහෙයවන්නෙ. මහ බැංකුව තමයි අපේ විනිමය පාලනය කරන්නෙ.

රජය තමයි මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය ගොඩනගලා පවත්වාගෙන යන්නෙ.

රජය තමයි තැපැල් සේවය පවත්වාගෙන යන්නෙ.

රජය තමයි විදුලි බල යටිතලය ගොඩනගලා කළමනාකරණය කරන්නෙ.

රජය තමයි ජල සම්පාදනය හා ජලාපවහන යටිතලය ගොඩනගලා පවත්වාගෙන යන්නෙ.

රජය තමයි ගොවිබිම්වලට අවශ්‍ය වාරිමාර්ග පද්ධතිය හදලා නඩත්තු කරමින් ගොවිතැනට ජලය නොමිලේම දෙන්නෙ. ඒ මිදිවට පොහොරත් කාලයක් නිකම් දීලා, අස්වැන්නත් වැඩි මිලට මිලදීගෙන අඩු මිලට පාරිභෝගිකයාට දුන්නා.

රජය තමයි රටේ පරිසරය ආරක්ෂා කරන්නෙ.

නොමිලේ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව දෙන්නෙ.

තව ගොඩක් දේ කියන්නට පුළුවන්. මේ අතරෙ රජය තමයි ලංකාවෙ ප්‍රධානම රැකියා සපයන්නා.

බැරි මිනිසුන්ව, ඒ කියන්නෙ අනාථයන්ව, ආබාධිතයන්ව, වැඩිහිටියන්ව, අසාධ්‍ය රෝගීන්ව බලාගැනීමේ වගකීමත් රජයට තියෙනවා.

මේ හැමදෙයක්ම රජය කරන්නට අවශ්‍ය නැහැ. බොහෝ දේ පෞද්ගලික අංශයට දෙන්නට පුළුවන්. අපට ඍජුවම මිල ගෙවලා ලබාගන්නට පුළුවන්. හැබැයි, දැනට අපට විශාල රාජ්‍ය අංශයක් තියෙනවා. ඒක එක පාරට බිඳදැමුවොත් විශාල අසමබරකමක් නිර්මාණය වෙනවා.

රජය බේරගන්න නම් අපට බදුගෙවන්නට වෙනවා. බදු නොගෙව්වොත් රජය කඩාවැටෙනවා. කඩාවැටුණොත් ඉහත කී සියල්ල අපට නැතිවෙනවා. විනාශ වුණ දේවල් නැවත ගොඩනගන එක හිතන තරම් ලේසි නැහැ.